කොටමුදුන ඉස්කෝලෙට  බාලපටබැදි ලොකුමහත්තයා එන්නෙ 1955 විතර .සුදු කෝට් එක,සුදු  සරම,කලු බද පටියෙන් සැරසී ,හම් සෙරෙප්ප්පු දෙක පැලද ගත්තම හරියටම  රජවාසල  සේවකයෙක් වගේ හරි ගාම්භීර පෙනුමක්.ලොකු හාමිනේ,අත්දිග බෝරිච්චි  හැට්ටයක්  ඇදගෙන ,ඉන්දියන් සාරිය  ඇදගෙන තමයි ගෙදරට ඉන්නේ.හරියටම  ගජමන් නෝනා වගෙයි .ලොකු දුවයි,පුතයි හිටියෙ .ඒ දෙන්නම දෙවැනි  මහත්තයගෙ  ලොකු දුවයි,ලොකු පුතාගේ සමවයසෙ වගේ .ඔය කාලේ ඉස්කෝලෙ තිබුනේ,ගමේ මිනුස්සු එකතුවෙලා,වීරසිංහ  ලොකු මහත්තයට  හදල දුන්න,වරිච්චි ගුරු නිවාසය  විතරයි.ඒ කාලේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන්  ගඩොලින්  ,ටකරන්  වහපු ගුරු නිවාසයක් හැදුවට,වනසිංහ  මහත්තයා මාවුස්සාගොල්ල ඉස්කෝලෙට  මාරුඋනා .අලුතින්  ආපු ලොකු මහත්තයා  ලොකු පිරිතකුත් කියලා ,දානයක්  දීලා අලුතින්  හදපු ගුරුනිවාසයට පදිංචියට  ගියා .ඔන්න ඔහොම යනකොට,ඉස්සරවෙලාම,පුහුණු  ගුරුවරයකු  ඉස්කෝලෙට අලුතින්  පත්වීමක් ඇරන්  ආවා.ගම කුලියාපිටිය ,හම්මලව.නම සුමනවීර බන්නැහැක .හීන්දෑරි  තරමක් උස තලඑලලුයි .ඇන්දේ,ලෝන්ස් එක.ඒකාලේ දිග කලිසමට කිව්වේ ලෝන්ස් එක.සුදු කමීසය ,මූන පෙනෙන  තරම් පොලිස්  කරපු කලු සපත්තු  කූට්ටම ,තමයි නිල ඇදුම .එඩරු තෙල්  ගාලා,කොන්ඩෙ උඩට පීරලා තමයි  හිටියෙ .මීරිගම ගුරු විදුහලෙන් ගුරු පුහුණුව  ලැබුවේ.තනි කඩයෙක් හින්දා නවාතම් ගත්තෙ,පරන ගුරුනිවාසයේ. ගුරු නිවාසයට “ආලෝක”කියලා නමකුත් තැබුවා.කෑම බීමටික ලැබුණේ  ලොකුමහත්තයා ගෙන්.ඒ කාලේ ගමෙ මිනුස්සු,හාල් ටික, පොල්  ගෙඩි ,හේනෙන් කඩපු ගමේගොඩේ එලවලු,කුරහන්  පිටි,කහ ඉගුරු,දඩමස් ටික,ලොකු මහත්තයගෙ  ගෙදරට ගේන්න අමතක කලේ නෑ. සුමනවීර තරුණ මහත්තයා,ගමේ තරුණ වියේ  හිටි කොල්ලන්ගෙ  කෙල්ලන්ගෙ මෙන්ම ,නායක  හාමුදුරුවන් ,වැඩිහිටියන්  අතර ජනප්‍රිය  චරිතයක් .හැන්දෑවට ,මැදවෙලේ බෝල ගහන්න එන්න අමතක කරන්නෙ නෑ.නිවාඩු  දවසට කදුනගින්න,මැණික්  ගගෙන් නාන්ඩ යන්නෙ කොලු රන්චුවක් එක්ක.ඒ කාලේ ගමේගොඩේ  කොලු රංචුව  සමඟ  සුමනවීර  මහත්තයත්,මුදලිහාමි මහත්තයත් කෝච්චියෙන් ගිහින් සිරිපාදේ  වන්දනා ගමන ගැන මතක ඇති  කෙනෙක්  දැන්නම් ගමේ ඇත්තෙවත් නෑ.ගුරු මන්ඩලයත් දැන් ටික  ටික වැඩිවෙලා .ගෝනගල වෙදමහත්තයග ලොකු දුව  සෝමාවතී ගුරුතුමිය  ඉස්කෝලෙට  ගුරු පත්වීක් ඇරන් නැවතිලා  හිටියෙ  දෙවෙනි  මහත්තයගෙ  ගෙදර .ඈ ඉස්කෝලට  ආව පලමු ගුරුවරිය.

සුමනවීර  මහත්තයට සර්පයෙකු  ගහලා කියන ආරංචිය  ගමේ පැතිරෙන්න වැඩිවෙලාවක් ගියේ  නෑ .දෙවෙනි  මහත්තයා  ඉස්කෝලට යන ගමන් වෙලට වතුර  බදින්න  ගියා. නායක හාමුදුරුවෝත්  ඒ  දුක්බර පනි විඩේ දෙවැනි මහත්තයාට කියන ගමන් ඉස්කෝලට  වැඩ්යේ පිරිත් නූලක් අතේ  තියාගෙන .එහෙන් මෙහෙන් ආරංචියට ඉස්කෝල වත්තම සෙනග.පරණ ගුරුනිවාසයේ  ඉස්සරහ  කාමරයේ  සුමනවීර  මහත්තයා  බූරු ඇදේ වැතිර  ඉන්නවා. මූණ බැලුවම ලොකු වේදනාවකින්  ඉන්න බව පේන්නෙ.දකුණ කකුලේ බොලටැහැට උඩින්  ලේ එනවා.සර්පයා පෑගුණා වත්ද?.ගමේ මිනිසුන්  ටිකක් කැති උදලු පිහියා ඇරගෙන ගුරුනිවාසයේ වටපිටාවත් ,කක්කුස්සිය  යන පාරත්  සුද්ද කරන්නෙ,මේක සර්ප විමානයක්  කියලා හිතාගෙන .ඒ තරමට මහ කැලේ.කොල්කාරේ ජයසුන්දර  නිලමේ  ගෙනත් දුන්න උණු උණු කිතුල්  හකුරු  කෑල්ලක්  එක්ක ලොකු හාමිනේ  ලුණු කැද කෝප්පයක්  සුමනවීර  මහත්තයට  ගෙනාවේ,දැන් දහයටත් ලගයි,උදේට  බත් කෑවෙත් නෑ,හොඳටම බඩගිනි ඇති කියලා.ගම්මුලෑදෑනි උන්නැහෙත්,පිරිවරත් එක්ක කඩිමුඩියේ  ආවේ කරන්න පුළුවන්  ඕනෑම  උදව්වක් කරන්න. එනකොට  ලොකු හාමුදුරුවෝ  පිරිත් කියමින්  පිරිත් නූලක් ගැටගහනවා.ඔක්කොම ඉස්කොලේ කඩුල්ල පැත්තට ඇස්ගහගෙන ඉන්නෙ,අංකඩ කට්ටාඬි සුවාරිස්,කදුකර කෝරළේටම ඉන්න සර්ප වෙදමහත්තයා කොයි වෙලාවෙද,එන්නෙ කියලා ලොකු බලාපොරොත්තුව ක්ඇතිව .ගිය සුමානේ කිරිගල්පොත්තෙ,පට්ටියාට නයෙක් ගහලා ,සිහි මුරිච්චි උනා.සුවාරිස්  කට්ටාඬි  ආවගමන්,වම් කකුලේ,නයා ගහපු තැන මතුරපු දෙහි  බෑයක් ඇතුල්ලුවා,දකුණු  අතේ,මාපටැඟිල්ලේ  පාන් කඩයකින් බේත් බැන්දා.මෙන්න මැරෙන්න හිටිය පට්ටියා අපූරුවට  ඇස් ඇරියා.ඔහොම කිව්වේ,කාටත්  ඇහෙන්න,හෙලවත්තෙ උක්කුබංඩා.සුවාරිස්  කට්ටාඬි  එක්ක එන්න ඇල දිගේම දුවලා ගියේ හීංමහත්තයා,සුමනවීර  මහත්තයගෙ ,සමවයස්  යාලුවා .හීංමහත්තයා ,සුවාරිස් කට්ටාඬි  ගේ ගෙදරට ගොඩවෙන කොටම  “නිලමේ ,කරදරයක් ද? මං කිරිගෝරිස් ගේ ගෙදර යන්න ලෑස්ති  වෙලා හිටියෙ .ගෑණියි,මිනිහයි හැමදාම  රන්ඩුලු.උන්ගෙ අම්මා කිරිමැණිකා ඇවිල්ලා කිව්වා කවුද හූනියමක් කරලා ඇති,හූනියම කපලා දෙන්න කියලා ,මං ලකලෑස්ති  උනේ ඒකගෙ ගෙදර  යන්න” .එහෙම කිව්වෙ කට්ටාඬි .ටිකක්  පුරසාරම වැඩියි.කට්ටාඬි  ගෙ පුරසාරම  අතර,නිලමේ  ආව කාරනය කිව්වා විතරයි,කට්ටාඬි , “නිලමේ,නිම්ත්තක් බලලාම  පිටත්වෙමු.”ඔන්න ඔය  බුලත් තට්ටුවෙන් බුලත් කොලයක් ඇරන්  මගේ අතේ තියන්න”.ටික වේලාවක්  මන්තරයක් ජපකරපු කට්ටාඬි “නිලමෙ,ඉක්මනට යමු .කුනකටුවෙක් තමයි වැඩේ දිලා තියෙන්නෙ,නිමිත්තෙන්  නම් කිව්වෙ,ඇග පුරාම විස දුවලා කියලා” කට්ටාඬි  ගෙදරින් පිටත් වෙන්න හදන කොටම කොහේද හිටපු  හුනෙක්   “ චික්,චික්” ගෑවා.කට්ටාඬි  ගේ දඩෝරියා ,  “ලපයා” කනපොට ගැහුවා . කඩුල්ලෙන් බැස්ස විතරයි ,ලැයිසා ,හිස් කලයකුත් උකුලේ තියාගෙන  ලිදට යනවා.කට්ටාඬි ත් නිලමෙත්  දෙන්නට දෙන්න මූණ බලාගත්තේ ,බලාපොරොත්තු  ඔක්කොම සුන්වෙයිද කියන දෙගිඩියාවෙන් .බාදාවල් තුනයි.මේ දෙන්නා කඩුල්ලෙන් ඇතුලුවෙනකොටම ලෙඩාගේ  කාමරයෙන් මුදලිහාමි මහත්තයා  හැරෙන්න  ඔක්කොම පහලට බැස්සෙ කට්ටාඬි  ට වෙද හෙදකම් කරන්න ඉඩ දීලා. එන්න එන්න සුමනවීර  මහත්තයට  අමාරුයි  වගේ.මතුරපු නුලක් කරට දැම්මා.දෙහි මතුරලා හැන්දෙන් අමාරුවෙන්  පොවා ගත්තා.අතේ මාපටැඟිල්ලේ  බෙහෙතුත් බැන්දා. ඇස් අරින්නෙවත්  නෑ.ලොකු මහත්තයගෙ  ලොකු මේසේ වටේ,ලොකු හාමුදුරුවෝ ,ආරච්චි  මහත්තයා,ගුරුවරු දැන් මොනවද කරන්නෙ  කියලා කතා කරනවා.පස්සර ඉස්පිරිතාලෙට  හැතැප්ම  පහක් තියෙනවා ඔසෙන් මුදලාලිග කාර් එක හරි,වත්තෙ ලොරිය  හොයගන්න හැතැප්ම දෙකක් ලෙඩාව කදෙන් ඇරන්‍ යන්නත් වෙනවා.තරුණයෝ ටික ගුරු පුටුවකට මිල්ල කොටයක් ගැට ගහලා කදත් ලෑස්තියි .තැපැල්  මහත්තයත් දුවගෙන ආවේ ,සුමනවීර මහත්තයා  එයාගේ හොඳ   යාලුවා නිසා,කරන්න පුලුවන් ඔනෑම දෙයක් කරන්න.මහත්තයගෙ  ගෙදරට  ටෙලිගෑම්  එකක් ගහන්න ,ලොකුමහත්තයා  ගෙන් ඇඩ්ඩෙස් එක ඉල්ලුවත් ,ලොකුමහත්තයා  ලොග් පොත පෙරලා පෙරලා බලනවා ඇඩ්ඩස් එක හොයා ගන්නවවත් නෑ.කට්ටාඬි  ,මුදලිහාමි මහත්තයා  ලෙඩා ලග  තියලා,ලොකුමහත්තයා ලගට  ආවේ දැන් මොනවද කරන්නෙ  කියලා අහන්න.ගුරුකම් ඔක්කොම  කලා.තවම හරි සිහියක් නෑ.පතාගෙන  ආපු හැටි ඔහොම තමා,කියලා කිව්වෙ අපේ කට්ටාඬි .ලොකුමහත්තයා  තමන්ගෙ  මේසේ උඩ තිබුන ලොකු සීනුව නාද කලේ පනිවිඩයක් දෙන්න බව දැනගත් ඉස්කොලේ  ලමයි,ගම්වැසියො,ඔක්කොම  සාලාවට ආවේ ඒ පනිව්ඩේ දැනගන්න.

ලොකුමහත්තයා  හරිම දුක්බරව සුමනවීර  මහත්තයගෙ  ගුණ කියන කොට කාගෙ කාගෙත් ඇස් වලට කදුලු ඉනුවා .හැන්දෑවට   සෙත් පතා බෝදි පූජාවක්  තියමු කියලා හාමුදුරුවෝ  කියන කොටම,මැරෙන්න  ගිය අපේ සුමනවීර  මහත්තයා ,සුදු ලෝන්ස් එකක් ,සුදු කමීසයක් ඇදගෙන අපූරුවට  ඉස්කෝලට  ආවා.ලොකු මහත්තයගෙ  හැගීම්බර කතාව  ඉවර වෙනකොට,ඉස්සෙලාම ඉස්කොලේ  කඩුල්ලෙන්  එලියට  ගියේ,නිමිත්තකුත් බලා බාදා තුනක් මැද දෙගිඩියාවෙන්  ආපු  සුවාරිස් කට්ටාඬි .ලොකු හාමුදුරුවෝ ,ආරච්චි මහත්තයා ,තැපෑල් මහත්තයා,ඔක්කොම  පිරිවරාගෙන  කඩුල්ලෙන්  එලියට ගියේ ගොලුවෝ, බීරො වගේ.

කවදත්  දිනපොතේ ,ලියන දෙවැනි  මහත්තයගෙ  දිනපොතේ ,1956 APRIL  01 පිටුවේ,

“අද සුමනවීර  මහත්තයගෙ  කකුලට සර්පයෙකු  දස්ට කරාලු?”

වෙනදාට පිටුවම පිරෙන්න දවසේ සිදුවීම් ලියන  දෙවැනි මහත්තයා  ,අද ඔය ටික විතරක් ලිව්වෙ මොකද ?. 

පෙහෙලිකාවක්?අසා දැනගන්නට  දෙවැනි මහත්තයා  අද අප අතර නැත.

“අතීතයේ දින පොතක,සැගවුණ මතකයක්”

නවරත්න  බංඩාර කොඩිතුවක්කු 

0716805012

අනුහයවියේ පසුවන,අපගේ ආදරණීය අම්මා බලන්නත්,මගේ උපන් ගමවූ පස්සර කොටමුදුන ගමේ,අපේ පොඩි මල්ලිගේ අදහසක් අනුව ඉදිවෙන.

ජිනානන්ද හිමි,අනුස්මරණ  ගොඩනැගිල්ලට මුල්ගල තබන්නට ,කලගෙඩිහේන සිට සුන්දර  කොටමුදුනට බස් එකේ යනඑන ගමන් සිතට ආ සිතුවිල්ල  ,මාර්තු 23,24,25(2026)  දිනයන්හී,අකුරු  හා වැකි කිහිපයකින් ලියා තබමි.

Comments

Leave a comment

More posts